Categories

VPN ගැන දැනගමු.

VPN බොහෝ දෙනා පසුගිය කාලයේ භාවිත නොකරපු කෙනෙක් නැති තරම්. නමුත් මේ වගේ සේවාවක් භාවිතා කරත්, ඒ හරහා ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද කියලා හරි අවබෝධයක් ගොඩක් දෙනෙක්ට නැති වෙන්න පුලුවන්. ඉතින් අද අපි මේ සුදානම් වෙන්නේ හැමෝගෙම කතා බහට ලක්වෙන මේ VPN ගැන හොයලා බලන්නයි.

අපි VPN කියලා කෙටියෙන් හඳුන්වන්නේ Virtual Private Network කියන එකයි. සරලවම මෙහි අර්ථය ගැන සළකලා බැලුවොත් Virtual Private Network එකක් කියලා කියන්නේ යම්කිසි විශාල network එකක් තුළ සංකල්පමය වශයෙන් ගොඩනගා ගත් network එකක් විදියට පැහැදිලි කරන්න පුළුවන්. ඒ වගේම VPN එකක් කියන්නේ පෞද්ගලික tunneling system එකක් කියලත් තව කෙනෙක්ට කියන්න පුළුවන්. ඒ කොහොම අර්ථ දැක්වීම් තිබුණත් Virtual Private Network එකක් ක්‍රියා කරන්නේ කොහොමද කියන කාරණය ඔබ දැනගත්තම ඔබට මේ VPN කියන සංකල්පය පිළිබඳ යම් අදහසක් ඇති වේවි. ඉතින් දැන් අපි බලමු මේ VPN එකක් ක්‍රියාත්මක වෙන ආකාරය.

ජාලකරණය සහ අන්තර්ජාලයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ඔබට අවබෝධයක් තියෙනවා නම් ඔබ දැනටමත් දන්නවා ඇති අපි web browser එකක් හරහා web site එකකට ළඟා වෙන ආකාරය. අන්තර්ජාලයේ තියෙන හැම website එකකටම අදාළව IP Address එකක් තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය website එකට connect වෙන්න නම් එහි IP Address එක (උදා : 199.223.232.0) අවශ්‍යයි. නමුත් ප්‍රායෝගික විදියට බැලුවොත් දැනට භාවිතයේ පවතින සියලුම websites වල IP Addresses අපිට මතකයේ රඳවාගන්න අපහසුයි. ඉතින් මෙයට පිළියමක් වශයෙන් අන්තර්ජාලයේ විශේෂ servers වර්ගයක් ක්‍රියාත්මක වෙනවා. මේවා අපි හඳුන්වන්නේ Domain Name Servers, එහෙමත් නැත්නම් DNS කියන නමින්.

මේ අනුව අපි web browser එකේ type කළ යුතු වෙන්නේ web site එකේ domain name එක. උදාහරණක් විදියට Facebook සළකනවානම්, අපි type කරන්නේ www.facebook.com කියන domain name එක. මෙහෙම type කරලා search කළාම, මුලින්ම DNS server එකෙන්, අපේ web browser එක ඒ domain name එකට අදාළ IP Address එක request කරනු ලබනවා. මොකද DNS Server එක කියන්නේ හරියට අපි භාවිතා කරන web sites වල IP addresses ගබඩා කරලා තියෙන directory එකක් වගේ දෙයක්. අපේ request එකට response එකක් විදියට අදාළ IP Address එක web browser එකට ලැබීමෙන් අනතරුව තමයි web site එකත් සමගින් අපේ web browser එක connect වෙන්නේ.

අපේ web browser එක යම්කිසි domain name එකකට අදාළ IP Address එකක් request කරද්දී ඒ request එක සමගින් location එක, භාවිතා කරන OS එක වගේ තවත් data විශාල ප්‍රමාණයක් DNS එක වෙත ලැබෙනවා. ඉතින් යම් තුන්වෙනි පාර්ශවයකට පුළුවන් අන්තරජාල සේවා සපයන්නන්ගේද සහය ඇතිව යම් කොට්ටාශයකට යම්කිසි web site එකක් block කරන්න. මෙයට උදාහරණයක් විදියට පසුගියදා ශ්‍රී ලංකා රජය සමාජ ජාලා වේබ් අඩවි අවහිර කරපු අවස්ථාව දක්වන්න පුලුවන්.

මෙන්න මේ වගේ අවස්ථාවකදී VPN සේවාවක් භාවිතා කළොත් අපිට පුලුවන් මේ අවහිරතාවයන් මගහැරලා සාමන්‍ය පරිදි ඒ අවහිර කරපු web sites වලටත් පිවිසෙන්න. මෙය සිද්ධ වෙන්නේ මෙන්නේ මෙහෙමයි.

මෑතකදී ම වුණු සිද්ධීයේදී අපි VPN software එකක් install කරගෙන අපේ location එක විදියට වෙන රටක් select කළාම, අපේ web browser එකෙන් request එක DNS එක වෙත එන්නේ ඒ අපි තෝරාගත් රටෙන් එන request එකක් විදියට. මේ හේතුව නිසා ශ්‍රි ලංකාවේ පනවා තිබූ අවහිරාතාවයන් මගහරවා ඒ අදාළ සමාජ ජාලා වෙබ් අඩවි භාවිතා කරන්න අවස්ථාව අපිට ලැබුණා. ඉතින් මෙතැනදී වෙන්නේ VPN එක අතරමැදියෙක් විදියට කටයුතු කරමින් අපිට අවශ්‍ය web site එක හා සම්බන්ධ වෙන්න අපිට වෙනෙම tunnel එකක් නිර්මාණය කරලා දීමයි.

ඒ වගේම VPN භාවිතා කරද්දී අපි යවන දත්ත සියල්ලම encrypt කිරීමකට ලක්වෙනවා. ඉතින් මේ නිසාවෙන්ම VPN කියන්නේ ආරක්‍ෂිත ක්‍රමයක් විදියටත් හඳුන්වන්න පුලුවන්. මොකද මේ ක්‍රමය නිසා කිසිම අතරමැදියෙකුට ඔබ හුවමාරු කරගන්නා දත්ත මොනවද කියලා දැනගන්න ලැබෙන්නේ නැහැ. නමුත් යම් නීතිවිරෝධී කටයුත්තක් වගේ දෙයක් සම්බන්ධයෙන් අවශ්‍යතාවයක් වුණොත් VPN සේවාව සැපයූ සැපයුම්කරු හරහා ඒවගේ තොරතුරු ලබාගන්න අවශ්‍ය ක්‍රමවේද සහ නීති රීතිත් පවතින බව තමයි දැනගන්නට ලැබෙන්නේ. නමුත් සමස්තයක් විදියට ගත්තම VPN කියන්නේ කිසිසේත්ම ලෝකයේ නීතිවිරෝධී සේවාවක් නම් නෙවෙයි.

VPN Softwares ගැන හොයලා බලද්දී අපිට දැකගන්න පුලුවන් VPN Apps විශාල සංඛ්‍යාවක් මේ වනවිට පවතිනවා. ඉන් සමහරක් නොමිලයේම තම සේවාවන් සපයන අතර තවත් සමහරක් යම්කිසි ගෙවීමක් සිදු කර ලබාගන්න පුලුවන් VPN Softwares. දිගු කාලින සහ සංවේදී දත්ත හුවමාරු වෙන කටයුතු වල යෙදෙනවානම් වඩාත් සුදුසු වෙන්නේ ගෙවීමක් සිදු කර ලබාගන්න VPN Services. එහෙම කියන්න හේතුව තමයි නොමිලයේ සේවාව සපයන සමහර VPN Services සමහර අවස්ථාවලදී user data වෙනත් අවශ්‍යතාවයන් සඳහා යොදා ගන්න බවටත් තොරතුරු වාර්තා වෙලා තියෙනවා.

ඉතින් මේ ඔබත් සමගින් බෙදා හදා ගත්තේ පසුගිය දිනවලදී අපිට නැතිවම බැරිවුණු VPN ගැන තොරතුරු හොයද්දි දැනගන්න ලැබුණු කරුණු කීපයක්. VPN ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත වුණේ ඉතාමත් මෑතකදී. නමුත් බොහෝ රටවල්වල විවිධාකාරයේ කටයුතු සඳහා විශාල වශයෙන් සාර්ථක ලෙස යොදාගන්න සේවාවක් විදියට මේ VPN හඳුන්වන්න පුළුවන්. VPN සේවාවක් ලබා ගනිද්දී එහි ඇති වාසි මෙන්ම අවාසි පිළිබඳවත්, ඒවායේ නෛතික රාමුව සහ ක්‍රියාකාරිත්වය පිළිබඳවත් යම් අවබෝධයක් තිබීම වැදගත්. මේ පිළිබඳව තවත් තොරතුරු දැනගන්න කැමති නම් ඒ පිළිබඳ සොයා බලන්නත් අමතක කරන්න එපා.

lahiru jay